ජූලි 15, අඟහරුවාදා
“මගේ බැටළු පැටව් ටික බලාගන්න.”—යොහ. 21:16.
පේතෘස් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලනවා “දෙවිගේ රැළ රැකබලා ගන්න” කියලා. (1 පේතෘ. 5:1-4) වැඩිමහල්ලෙනි, ඔයාලා සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි කියලත් ඔයාලට ඕනෙ එයාලව ආදරෙන් රැකබලා ගන්න කියලත් අපි දන්නවා. හැබැයි සමහර වෙලාවට තියෙන වැඩ කන්දරාවත් එක්ක ඔයාට ලොකු මහන්සියක් දැනෙන්න පුළුවන්. ඒ වගකීම හරියට කරගන්න බැහැ කියලා හිතෙන්නත් පුළුවන්. එහෙමනම් මොකද කරන්නේ? ඔයාට දැනෙන හැම දෙයක්ම අකුරක් නෑර යෙහෝවාට කියන්න. ඒකයි පේතෘස් කිව්වේ “සේවය කිරීමට අවස්ථාවක් යමෙකුට ලැබේ නම් දෙවි සපයා දෙන ශක්තිය මත රඳා සිටිමින් ඔහු සේවය කළ යුතුයි” කියලා. (1 පේතෘ. 4:11) සහෝදර සහෝදරියන් මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම සම්පූර්ණයෙන්ම මේ කාලේ විසඳෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න “ප්‍රධාන එඬේරා” වන යේසුස් ක්‍රිස්තුස්ට පුළුවන් ඔයාටත් වඩා හොඳින් එයාලට උදව් කරන්න. ඔහු දැන් විතරක් නෙවෙයි පාරාදීස පොළොවේදී ඊටත් වඩා වැඩියෙන් ඒක කරන්න යනවා. දෙවියන් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලන්නේ සහෝදරයන්ට ආදරේ කරන්න, එයාලව රැකබලා ගන්න සහ “රැළට ආදර්ශයක් වෙන්න” කියලා විතරයි. w23.09 29-30 13-14¶
ජූලි 16, බදාදා
“ප්‍රඥාවන්තයන් හිතන දේවල් කිසිම වැඩක් නැහැ කියලා යෙහෝවා දන්නවා.”—1 කොරි. 3:20.
අපි මිනිස්සුන්ගේ තර්ක විතර්කවලට අහු වෙන්න හොඳ නැහැ. මොකද මිනිස්සු හිතන විදිහට හිතුවොත් අපි දෙවියන්ගේ නීති, ප්‍රතිපත්ති ගණන් ගන්න එකකුත් නැහැ. අන්තිමේදී යෙහෝවාවත් දාලා යයි. (1 කොරි. 3:19) මොකද ‘මේ ලෝකයේ ප්‍රඥාව’ අපිව දිරිගන්වන්නේ අපේම ආශාවන් පිනවගන්න. උදාහරණෙකට පර්ගමම් සහ තියතීරා කියන්නේ රූප නමස්කාරයෙන් සහ අනාචාරයෙන් පිරුණු නගර දෙකක්. එහේ හිටපු අයගේ අදහස් අහලා සමහර ක්‍රිස්තියානීනුත් රූප නමස්කාරයට, අනාචාරයට වැටුණා. ඒ නිසයි යේසුස් එයාලට තදින් උපදෙස් දුන්නේ. (එළි. 2:14, 20) අදත් පවුලේ අය, යාළුවෝ අපිව එයාලා හිතන විදිහට හිතන්න පොලඹවනවා. එයාලා මෙහෙම කියනවා. “ඔයාලාගේ නීති තද වැඩියි. අනික බයිබලේ ආදි කාලේ පොතක්නේ. ඒකේ කියන දේ කරන්න ඕනෙ නෑ, ඔයා ඔයාගේ හිත කියන දේ කරන්න.” සමහරවිට අපිට හිතෙයි යෙහෝවා දීලා තියෙන සමහර මඟ පෙන්වීම් පැහැදිලි මදි කියලා. ඒ වගේ වෙලාවට “ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා ගිහින්” වැඩ කරන්න අපි පෙලඹෙයි.—1 කොරි. 4:6. w23.07 16 10-11¶
ජූලි 17, බ්‍රහස්පතින්දා
“අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරේ පෙන්වනවා. එයා කරදරයකදී උදව් කරන්න ඉපදුණ සහෝදරයෙක්.”—හිතෝ. 17:17.
මරියාට දරුවෙක් ලැබෙනවා කියලා දේවදූතයා කියද්දී මරියා විවාහ වෙලා හිටියේ නැහැ. දරුවන් ඇතිදැඩි කරලා එයාට කිසිම අද්දැකීමක් තිබුණෙත් නැහැ. අනික එයාගේ බඩේ ඉන්නේ අනාගත ගැලවුම්කරු. ඒක බරපතළ පැවරුමක්. ඒ වගේම ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැතුව එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා එයා යෝසෙප්ට පැහැදිලි කරන්නත් ඕනේ. (ලූක් 1:26-33) මේ වගේ දේකට මුහුණ දෙන්න මරියාට ශක්තිය ලැබුණේ කොහොමද? එයා අනිත් අයගෙන් උදව් ගත්තා. එයාගේ පැවරුම ගැන තවත් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා එයා ගාබ්‍රියෙල් දේවදූතයාට කිව්වා. (ලූක් 1:34) ඊට ටික කාලෙකට පස්සේ එයා එලිසබෙත්ව බලන්න ගියා. යෙහෝවාගේ මඟ පෙන්වීමෙන් මරියාගේ දරුවා ගැන අනාවැකියකුත් කියලා එලිසබෙත් මරියාව දිරිගැන්නුවා. (ලූක් 1:39-45) ඒ නිසා තමයි යෙහෝවා ‘ඔහුගේ මහත් බලයෙන් පුදුමසහගත ක්‍රියා කරලා තියෙනවා’ කියලා මරියාට කියන්න පුළුවන් වුණේ. (ලූක් 1:46-51) ඒ විදිහට ගාබ්‍රියෙල් සහ එලිසබෙත් මාර්ගයෙන් දෙවියන් මරියාව ශක්තිමත් කළා. w23.10 14-15 10-12¶