ජූලි
ජූලි 1, අඟහරුවාදා
‘යේසුස් දේශය පුරාම ගිහින් හුඟක් යහපත් දේවල් කළා. හැමෝටම ඔහු සහනයක් ලබා දුන්නා.’—ක්‍රියා 10:38.
ආශ්චර්යයන් ඇතුළු යේසුස් කරපු කියපු හැම දේකින්ම යෙහෝවා හිතන විදිහ, ඔහුට හැඟෙන විදිහ පැහැදිලි වුණා. (යොහ. 14:9) යේසුස් ආශ්චර්යයන් කළේ වේදනාවෙන් දුක් විඳින මිනිස්සුන්ට සහනය දෙන්න. දවසක් අන්ධ මිනිස්සු දෙන්නෙක් අඬඅඬා කෑගහලා යේසුස්ගෙන් උදව් ඉල්ලුවා. (මතෙ. 20:30-34) එයාලව දැකලා යේසුස්ට “මහත් අනුකම්පාවක් ඇති වුණා.” ඊටපස්සේ ඔහු එයාලව සුව කළා. එතන “මහත් අනුකම්පාවක් ඇති වුණා” කියන ග්‍රීක ක්‍රියා පදයෙන් අදහස් කරන්නේ හදවතේ ගැඹුරින්ම යේසුස්ට වේදනාවක් දැනුණා කියන එකයි. අන්න ඒ හැඟීමම තමයි හුඟදෙනෙක්ගේ බඩගින්න නිවන්න, ලාදුරු රෝගියෙක්ව සුව කරන්න යේසුස්ව පෙලඹුවේ. (මතෙ. 15:32; මාක් 1:41) ඒකෙන් පැහැදිලියි “අතිමහත් දයානුකම්පාවක්” පෙන්නන යෙහෝවා දෙවියන් සහ ඔහුගේ පුතා අපිට ගොඩක් ආදරෙයි කියලා. අපි අද අමාරුවෙන් උහුලගන්න හැම දුකක්ම එයාලට හොඳට තේරෙනවා. (ලූක් 1:78; 1 පේතෘ. 5:7) ඒ නිසා අපිට වේදනාවක් ගේන හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න එයාලා ඉන්නේ ඇඟිලි ගැනගැන. w23.04 3 4-5¶
ජූලි 2, බදාදා
“යෙහෝවාට ආදරේ කරන සියල්ලෙනි, නපුරු දේට පිළිකුල් කරන්න. ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන් ආරක්ෂා කරනවා. දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව බේරගන්නවා.”—ගීතා. 97:10.
සාතන්ගේ ලෝකේ පහත් දේවලින් ඈත් වෙන්න අපි ලොකු මහන්සියක් ගන්න ඕනේ. අපි බයිබලේ කියවලා, ඒක අධ්‍යයනය කරලා හොඳ දේවල්වලින් අපේ මනස පුරවගන්න ඕනේ. අපේ හිත ආරක්ෂා කරගන්න රැස්වීම් සහ සේවෙත් උදව් වෙනවා. අපි අපේ පැත්තෙන් උපරිමය කරද්දී යෙහෝවාත් පොරොන්දු වෙනවා අපිට දරන්න පුළුවන් ප්‍රමාණයට වඩා දේවලට මුහුණ දෙන්න අපිට ඉඩ දෙන්නේ නැහැ කියලා. වැරදි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම යටපත් නොවී ඒවායින් ගොඩ එන්න ඔහු අපිට උදව් කරනවා. (1 කොරි. 10:12, 13) මේ අමාරු කාලේ දිගටම විශ්වාසවන්තව ඉන්න අපි තව වැඩි වැඩියෙන් යෙහෝවාට යාච්ඤා කරලා ඔහුගෙන් උදව් ඉල්ලන්න ඕනේ. යෙහෝවාත් අපෙන් ඉල්ලන්නේ ‘හදවතේ ඇති සියල්ල ඔහුට කියන්න’ කියලා. (ගීතා. 62:8) ඔහුට ප්‍රශංසා කරලා ඔහු කරලා තියෙන හැම දෙයක් වෙනුවෙන්ම ස්තුති කරන්න. නිර්භීතව දේශනා කරන්න උදව් ඉල්ලන්න. ප්‍රශ්න, වැරදි පෙලඹීම් එද්දී ඒවායින් ගොඩ එන්න උදව් ඉල්ලලා යෙහෝවාට කන්නලව් කරන්න. යාච්ඤා කරන එක නතර කරන්න කිසිම දේකට, කිසිම කෙනෙක්ට ඉඩ දෙන්න එපා. w23.05 7 17-18¶
ජූලි 3, බ්‍රහස්පතින්දා
‘එකිනෙකා ගැන අපි සැලකිලිමත් වෙමු. අපි එකිනෙකාව දිරිගන්වමු.’—හෙබ්‍රෙ. 10:24, 25.
අපි රැස්වීම් යන්නේ යෙහෝවාට ප්‍රශංසා කරන්න. (ගීතා. 26:12; 111:1) රැස්වීම්වලට යද්දී ප්‍රශ්න එක්ක පොරබදින අපේ සහෝදරයන්ව දිරිගන්වන්නත් අවස්ථාව ලැබෙනවා. (1 තෙස. 5:11) ඉතින් ඔයා රැස්වීම්වලදී අත උස්සලා උත්තර දෙද්දී ඔයාට ඒ දෙකටම අවස්ථාව ලැබෙනවා. හැබැයි රැස්වීමේ උත්තර දෙද්දී සමහර වෙලාවට ඔයාට ලැජ්ජාවක්, බයක් දැනෙන්න පුළුවන්. හොඳට ලෑස්ති වෙලා ඇවිත් අත ඉස්සුවත් ඔයා හිතපු තරම් ඔයාගෙන් උත්තර ගන්නේ නැති වෙන්නත් පුළුවන්. ඔයාටත් ඒ වගේ අභියෝග තියෙනවාද? එහෙමනම් ඒවායින් ගොඩ එන්න ඔයාට පුළුවන් කොහොමද? පාවුල් කිව්වා “එකිනෙකාව දිරිගන්වන්න” කියලා. ඉතින් උත්තරයක් දෙන්න ඔයාට බයක්, චකිතයක් දැනෙනවා නම් එක දෙයක් මතක තියාගන්න. පුංචිම උත්තරයකින් වුණත් ඔයා ඔයාගේ විශ්වාසය ගැන කියද්දී අනිත් අයට ඒක ලොකු ශක්තියක් වෙන්න පුළුවන්. අනිත් අතට ඔයාට උත්තරයක් දෙන්න අවස්ථාවක් ලැබුණේ නැතත් ඒ අවස්ථාව තව කෙනෙක්ට ලැබුණ එක ගැන සතුටු වෙන්න ඔයාට පුළුවන්.—1 පේතෘ. 3:8. w23.04 20 1-3¶
ජූලි 4, සිකුරාදා
“යූදා දේශයට ගිහිල්ලා යෙරුසලමේ තිබුණ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ මාලිගාව නැවත ගොඩනඟන්න.”—එස්රා 1:3.
අවුරුදු 70ක් පුරා බැබිලෝනියේ වහල්ලු විදිහට හිටපු යුදෙව්වන්ට අවසර ලැබෙනවා ඊශ්‍රායෙල් දේශයට යන්න. (එස්රා 1:2-4) සාමාන්‍යයෙන් බැබිලෝනිවරු වහල්ලුන්ව ලේසියෙන් නිදහස් කරන ජාතියක් නෙවෙයි. (යෙසා. 14:4, 17) හැබැයි මේ වෙද්දී වෙනත් ජාතියක් බැබිලෝනිය යටත් කරගෙන ඉවරයි. දැන් මේ අලුත් පාලකයා අවසර දෙනවා යුදෙව්වන්ට තමන්ගේ මව්බිමට යන්න. ඒ නිසා හැම යුදෙව්වෙක්ටම විශේෂයෙන්ම පවුලේ මූලිකයන්ට තීරණයක් ගන්න වෙනවා දිගටම බැබිලෝනියේ ඉන්නවාද නැත්නම් ඊශ්‍රායෙල් දේශයට යනවාද කියලා. හැබැයි ඒක ලේසි තීරණයක් නෙවෙයි. ඒ වෙද්දී මහලු වයසේ හිටපු හුඟදෙනෙක්ට එච්චර දුරක් ගෙවාගෙන ඊශ්‍රායෙල් දේශයට යන එක ලේසි වුණේ නැහැ. ඒ වගේම ඊශ්‍රායෙල්වරු අතර හිටපු හුඟක් අය ඉපදුණේ, හැදුණේ වැඩුණේ බැබිලෝනියේ. පේන විදිහට සමහර ඊශ්‍රායෙල්වරු ව්‍යාපාර කටයුතු කරලා බැබිලෝනියේදී ගොඩක් දියුණු වෙලත් තිබුණා. ඒ නිසා හැම දේම අත්හැරලා නන්නාඳුනන පැත්තකට ගිහින් අලුතින්ම ජීවිතේ පටන්ගන්න එක ලොකු අභියෝගයක් වුණා. w23.05 14 1-2¶
ජූලි 5, සෙනසුරාදා
“ඔයාලත් සූදානමින් ඉන්න.”—මතෙ. 24:44.
විඳදරාගැනීම, දයානුකම්පාව සහ ආදරය දිගටම වර්ධනය කරගන්න කියලා බයිබලේ කියනවා. උදාහරණෙකට ලූක් 21:19 කියන්නේ “ඔබ විඳදරාගෙන සිටියොත් ඔබට ගැලවීම ලැබෙයි” කියලා. කොලොස්සි 3:12 කියනවා ‘ඉමහත් දයානුකම්පාවකින් කටයුතු කරන්න’ කියලා. ඒ වගේම 1 තෙසලෝනික 4:9, 10 මෙහෙම කියනවා. ‘එකිනෙකාට ප්‍රේම කරන්න කියා දෙවි ඔබට උගන්වා තිබේ. නමුත් සහෝදරයෙනි, අප ඔබට උනන්දු කරන්නේ වැඩි වැඩියෙන් එසේ කරන්න කියාය.’ ඒ මඟ පෙන්වීම් ලැබුණ මුල් ක්‍රිස්තියානීන් ඒ වෙද්දීත් ඒ ගුණාංග ඇති කරගෙන හිටපු අය. ඒත් එයාලා දිගටම ඒවා තව වර්ධනය කරගන්න ඕනෙ වුණා. එහෙමනම් ඔයාත් කරන්න ඕනෙ ඒකම නෙවෙයිද? ඉතින් එයාලා ඒ ගුණාංග පෙන්නුවේ කොහොමද කියලා හිතන්න. ඒ වගේම එයාලව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් හිතන්න. මහත් පීඩාවට ලෑස්ති වෙන්න ඒක ඔයාට උදව් වෙයි. ඔයා එහෙම කරනවා නම් මහත් පීඩාව එද්දී අදටත් වඩා වැඩියෙන් විඳදරාගන්න ඔයාට පුළුවන් වෙයි. ඒ වගේම දිගටම විශ්වාසවන්තව විඳදරාගන්න ඔයාගේ හිතේ තියෙන ආසාවත් තව වැඩි වෙයි. w23.07 3 4¶, 8¶
ජූලි 6, ඉරිදා
“එහේ මහා මාර්ගයක් තියෙයි. ඒකට කියන්නේ ශුද්ධකමේ මඟ කියලයි.”—යෙසා. 35:8.
අපි අභිෂේක ලත් අය වුණත් “වෙනත් බැටළුවන්” වුණත් අපේ එකම අධිෂ්ඨානය දෙවියන්ගේ ශුද්ධ සෙනඟ විදිහට දැනුත් අනාගතයේදීත් දෙවියන් දෙන ආශීර්වාද ලබාගන්න දිගටම මේ මාර්ගයේ ගමන් කරන එක. (යොහ. 10:16) ක්‍රි.ව. 1919 ඉඳන් මිලියන ගාණක් පුරුෂයන්, ස්ත්‍රීන්, දරුවන් ලෝක අධිරාජ්‍යයක් වගේ තියෙන බොරු ආගම් කියන මහ බැබිලෝනියෙන් අයින් වෙලා සංකේතාත්මක මේ ශුද්ධ මාර්ගයට ඇතුල් වෙලා තියෙනවා. යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා එද්දී යෙහෝවා දෙවියන් එයාලාගේ මාර්ගයේ තිබුණ බාධා අයින් කරලා ඒක සමතලා කළා. (යෙසා. 57:14) ඒ වගේම 1919ට සියවස් ගාණකට කලින් ඉඳන් යෙහෝවාට ගරුබිය දක්වන පුරුෂයන්ව පාවිච්චි කරලා ඔහු මේ කාලේ තියෙන “ශුද්ධ මඟත්” එළිපෙහෙළි කරන්න පියවර ගත්තා. (යෙසා. 40:3) ඒ නිසයි පස්සේ කාලේ මහ බැබිලෝනියෙන් නිදහස් වෙලා ආපු අයට ලේසියෙන්ම මේ මාර්ගයට ඇතුල් වෙන්න, දෙවියන්ගේ සෙනඟ එක්ක එකතු වෙලා ඔහුට නමස්කාර කරන්න පුළුවන් වුණේ. w23.05 15-16 8-9¶
ජූලි 7, සඳුදා
“යෙහෝවා දෙවියන්ට සතුටින් සේවය කරන්න. ප්‍රීති ඝෝෂා නඟමින් ඔහු ඉස්සරහට එන්න.”—ගීතා. 100:2.
යෙහෝවා දෙවියන්ට ඕනෙ අපි ආසාවෙන් ඔහුට සේවේ කරනවා දකින්න. (2 කොරි. 9:7) ඒ කියන්නේ කිසිම ආසාවක් නැතුව ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන එකේ තේරුමක් නැද්ද? ඒක තේරුම්ගන්න පාවුල් ගැන බලමු. එයා මෙහෙම කිව්වා. “මම මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින් වහලෙකුව ඇදගෙන යන්නා සේ එය මගේ පාලනයට යටත් කරගන්නෙමි.” (1 කොරි. 9:25-27) ඒකෙන් තේරෙනවා පාවුල් පවා සමහර දේවල් කළේ ගොඩක් අමාරුවෙන් කියලා. පාවුල් කරපු දේවල් යෙහෝවා පිළිගත්තාද? ඔව්, එයා දරපු මහන්සියට ඔහු ගොඩක් ආශීර්වාද කළා. (2 තිමෝ. 4:7, 8) ආසාවක් නැති දවස්වලදී වුණත් අපි ඉලක්කයක් වෙනුවෙන් මහන්සි වෙද්දී දෙවියන් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද ඔහු දකිනවා අපි කරන දේ ගැන අපේ හිතේ ඇල්මක් නැති වුණාට අපි ඒක කරන්නේ ඔහු ගැන ලොකු ඇල්මක් තියෙන නිසා කියලා. ඉතින් පාවුල්ට වගේ යෙහෝවා අපේ වෑයම්වලටත් අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. (ගීතා. 126:5) එතකොට සමහරවිට ඒක කරන්න ආසාවකුත් අපේ හිතේ ඇති වෙයි. w23.05 29 9-10¶
ජූලි 8, අඟහරුවාදා
‘යෙහෝවා දෙවියන්ගේ දවස එනවා.’—1 තෙස. 5:2.
දෙවියන්ගේ දවසේදී බේරෙන්නේ නැති අයව පාවුල් සමාන කරන්නේ නිදාගෙන ඉන්න අයට. මොකද නිදාගෙන ඉන්න කෙනෙක් වටපිටාවේ මොනවා වුණත් දන්නේ නැහැ. ඒවාට කිසි ප්‍රතිචාරයක් දක්වන්නත් එයාට බැහැ. එයාට කාලේ යනවා තේරෙන්නෙත් නැහැ. අද ඉන්න හුඟක් අයත් ඉන්නේ නින්දක. (රෝම 11:8) අපි ඉන්නේ “අවසාන කාලයේ” කියලත් මහත් පීඩාව අත ළඟයි කියලත් පිළිගන්න කොච්චර සාක්ෂි තිබුණත් එයාලට ගාණක් නැහැ. (2 පේතෘ. 3:3, 4) ඒ කොහොමවුණත් අවදිව ඉන්න එක කොච්චර වැදගත්ද කියලා ගත වෙන දවසක් දවසක් ගාණේ අපි තේරුම් අරන් ඉන්නවා. (1 තෙස. 5:6) ඒ නිසා අපි සන්සුන්ව, ස්ථිරව ඉන්න ඕනේ. ඒත් ඒ ඇයි? මොකද එතකොට අපි දේශපාලනික සහ සමාජීය ගැටලුවලට පැටලෙන්නේ නැහැ. අපි දන්නවා දෙවියන්ගේ දවස ළං වෙද්දී පැති ගන්න එන පීඩනය තව වැඩි වෙනවා කියලා. හැබැයි ඒ වගේ වෙලාවට අපි මොනවාද කරන්න ඕනෙ කියලා ඕනෑවට වඩා කනස්සලු වෙන්න ඕනෙ නැහැ. මොකද යෙහෝවා ඔහුගේ බලය දීලා සන්සුන්ව, ස්ථිරව හරි තීරණය ගන්න අපිට උදව් කරනවා.—ලූක් 12:11, 12. w23.06 10 6-7¶
ජූලි 9, බදාදා
‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අනේ මාව අමතක කරන්න එපා. මාව ශක්තිමත් කරන්න.’—විනි. 16:28.
සැම්සන්. ඒ නම ඇහෙද්දී ඔයාට මතක් වෙන්නේ මොකක්ද? සමහරවිට ලොකු ශක්තියක් තියෙන අයෝමය පුරුෂයෙක්ව ඔයාගේ මනසට එනවා ඇති. ඔව්, ඒක ඇත්ත. හැබැයි සැම්සන් ගත්ත එක වැරදි තීරණයක් නිසා එයාට හුඟක් දුක් විඳින්න වුණා. ඒත් යෙහෝවා අවධානය දුන්නේ එයාගේ අතින් වුණ වැරැද්දට නෙවෙයි, එයා ජීවිත කාලේ පුරාම පෙන්නපු විශ්වාසයට. ඒ නිසයි එයාගේ කතාව අපේ ප්‍රයෝජනය වෙනුවෙන් දෙවියන් බයිබලේටත් ඇතුළත් කළේ. දෙවියන්ගේ සෙනඟ වුණ ඊශ්‍රායෙල් ජාතිය බේරගන්න යෙහෝවා දෙවියන් සැම්සන්ට පුදුමාකාර දේවල් කරන්න හැකියාව දුන්නා. සැම්සන් මැරිලා සියවස් ගාණක් ගියත් යෙහෝවා එයාව අමතක කළේ නැහැ. ඒ නිසයි විශ්වාසවන්ත පුරුෂයන් ගැන සඳහන් කරද්දී ඒ අතරට සැම්සන්ගේ නමත් ඇතුළත් කරන්න යෙහෝවා පාවුල්ට මඟ පෙන්නුවේ. (හෙබ්‍රෙ. 11:32-34) ඇත්තටම සැම්සන්ගේ ආදර්ශයෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මොකද එයා හැම තිස්සේම යෙහෝවා මතම රැඳිලා හිටියා. w23.09 2 1-2¶
ජූලි 10, බ්‍රහස්පතින්දා
‘දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා ඔහුට කන්නලව් කරන්න.’—ෆිලි. 4:6.
අපි නිතරම අපේ හිතට වධ දෙන දේවල් ගැන යෙහෝවාට කියනවා නම් විඳදරාගන්න අපිට තියෙන හැකියාව තව වැඩි වෙනවා. (1 තෙස. 5:17) සමහරවිට මේ වෙද්දී ඔයාට බරපතළ ප්‍රශ්නයක් නැතුව ඇති. හැබැයි මනසට ලොකු බරක් දැනෙන වෙලාවක් ආවොත්, තීරණ දෙකක අතරමං වුණොත් ඔයා යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලනවාද? ඒ විදිහට හැම දවසකම පුංචි පුංචි දේවල්වලදී පවා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා නම් ඉස්සරහට ලොකු ලොකු පීඩා එද්දීත් ඒ දේම කරන්න ඔයා දෙසැරයක් හිතන්නේ නැහැ. මොකද ඔයා දන්නවා යෙහෝවා හරි වෙලාවට, හරි විදිහට ඔයාට උදව් කරනවාමයි කියලා. (ගීතා. 27:1, 3) දැන් එන හැම පීඩාවක්ම මහත් පීඩාවට මුහුණ දෙන්න අපිට ලොකු ශක්තියක්. (රෝම 5:3) හුඟක් සහෝදරයෝ ඒක අද්දැකීමෙන්ම තේරුම් අරන් තියෙනවා. එයාලා මුහුණ දෙන හැම පීඩාවක් පීඩාවක් ගාණෙම එයාලාගේ විශ්වාසය තව ශක්තිමත් වෙනවා. මොකද ඕනම වෙලාවක යෙහෝවා උදව් කරන්න ලෑස්ති පිටයි ඉන්නේ කියලා එයාලා අද්දැකලා තියෙනවා. ඒ විශ්වාසය උදව් වෙනවා ඊළඟ අභියෝගයටත් සාර්ථකව මුහුණ දෙන්න.—යාකො. 1:2-4. w23.07 3 7-8¶
ජූලි 11, සිකුරාදා
“මං ඔයාගේ ඉල්ලීම ඉටු කරන්නම්.”—උත්. 19:21.
නිහතමානිකම, දයානුකම්පාව කියන ගුණාංග දෙවියන්ව පොලඹවනවා සාධාරණ විදිහට වැඩ කරන්න. උදාහරණෙකට යෙහෝවා තීරණය කළා දුෂ්ට මිනිස්සු හිටපු සොදොම් නගරය විනාශ කරන්න. ඒ නිසා දේවදූතයෙක් මාර්ගයෙන් ඔහු ලොත්ට දැනුම් දුන්නා කඳුවලට පලා යන්න කියලා. හැබැයි කඳුවලට යන්න ලොත් ගොඩක් බය වුණා. ඒ නිසා එයා යෙහෝවාගෙන් ඉල්ලුවා ළඟ තියෙන පුංචි නගරයක් වන ෂොවර්වලට යන්න ඉඩ දෙන්න කියලා. ඒ වෙලාවේ යෙහෝවා කිව්වාද “ඔයා වැඩ කරන්න ඕනෙ මං කියන විදිහට. මගෙන් ප්‍රශ්න අහන්න එන්න එපා” කියලා? නැහැ. ඒ වෙනුවට ඔහු නිහතමානී වෙලා ලොත්ගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නා. ඒ විතරක් නෙවෙයි ලොත් නිසා ෂොවර් නගරය විනාශ නොකර ඉන්නත් තීරණය කළා. (උත්. 19:18-22) ඊට සියවස් ගාණකට පස්සේ නිනිවය විනාශ කරනවා කියලා දෙවියන් යෝනා මාර්ගයෙන් කිව්වා. හැබැයි නිනිවයේ හිටපු දුෂ්ට අය අවංකව පසුතැවිලි වුණාම දෙවියන් එයාලට අනුකම්පා කරලා ඔහු ගත්ත තීරණය වෙනස් කළා.—යෝනා 3:1, 10; 4:10, 11. w23.07 21 5¶
ජූලි 12, සෙනසුරාදා
‘සේවකයන් යෙහෝයාෂ්ව ඇඳේදීම මරලා දැම්මා. ඒත් එයාව තැන්පත් කළේ රජවරු තැන්පත් කරන තැන නෙමෙයි.’—2 ලේක. 24:25.
යෙහෝයාෂ් ගැඹුරට මුල් ඇදලා නැති මුක්කු ගහපු ගහක් වගේ. යෙහෝයාදා තමයි එයාගේ මුක්කුව වුණේ. ඒ මුක්කුව නැති වුණාට පස්සේ අධිපතීන්ගේ බලපෑමට අහු වෙලා මේ ගහ කඩන් වැටුණා. මොකක්ද පාඩම? අපි දෙවියන්ට ගරුබියක් පෙන්නන්න ඕනෙ සභාවේ අයයි, පවුලේ අයයි දෙවියන්ට ගරුබිය පෙන්නන නිසාවත් එහෙම කරන්න කියලා එයාලා අපිට දිරිගන්වන නිසාවත් නෙවෙයි. දිගටම යාච්ඤා කරලා, බයිබලේ අධ්‍යයනය කරලා, කියවන දේ ගැන හොඳට හිතලා අපිම දෙවියන් ගැන ගරුබියක් ඇති කරගන්න ඕනේ. එතකොට ගැඹුරට මුල් බැහැපු ශක්තිමත් ගහක් වෙන්න අපිට පුළුවන්. (යෙරෙ. 17:7, 8; කොලො. 2:6, 7) යෙහෝවා අපෙන් ඉල්ලන්නේ පොඩි දෙයයි. ඒ ගැන දේශනාකාරයා 12:13 මෙහෙම කියනවා. “සැබෑ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.” අපි මුළු හදවතින්ම දෙවියන්ට ගරුබිය පෙන්නනවා නම් ඉස්සරහට මොන ප්‍රශ්නේ ආවත් අපි දිගටම ස්ථිරව ඉන්නවා. එතකොට යෙහෝවා එක්ක තියෙන අපේ බැඳීමට අතවත් තියන්න කිසිම කෙනෙක්ට, කිසිම දේකට පුළුවන් වෙන්නේ නැහැ. w23.06 19 17-19¶
ජූලි 13, ඉරිදා
“බලන්න! මම හැම දෙයක්ම අලුත් කරනවා.”—එළි. 21:5.
එළිදරව් 21:5 පටන්ගන්නේ මේ වචනවලින්. “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා මෙසේ පැවසුවේය.” (එළි. 21:5අ) දෙවියන් දර්ශනයක් මාර්ගයෙන් කෙළින්ම යොහන්ට කතා කරපු අවස්ථා තුනක් ගැන විතරයි එළිදරව් පොතේ තියෙන්නේ. ඒවායින් එකක් තමයි ඒ. දෙවියන් ඒක කියන්නේ දේවදූතයෙක් මාර්ගයෙන්වත් නැවත නැඟිටපු යේසුස් මාර්ගයෙන්වත් නෙවෙයි. ඒ වෙනුවට යෙහෝවාමයි ඒක කියන්නේ. ඒකෙන්ම තේරෙනවා අපිට මේ වචන විශ්වාස කරන්න පුළුවන් කියලා. මොකද ඔහු කවදාවත්ම ‘බොරු කියන්නේ නැහැ.’ (තීත. 1:2) අපි ඊළඟට ඒ පදයේ තියෙන “බලන්න” කියන වචනයට අවධානය දෙමු. “බලන්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය එළිදරව් පොතේ කීප වතාවක්ම සඳහන් වෙනවා. දෙවියන් කියනවා “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි” කියලා. යෙහෝවා මේ කියන්නේ අනාගතේදී ඉටු කරන්න යන දේවල් ගැන. හැබැයි ඒක ඉටු කරනවා කියලා දෙවියන්ට කොච්චර ස්ථිරද කියනවා නම් ඔහු ඒ ගැන කියන්නේ දැනටමත් ඉටු වෙලා තියෙන දෙයක් විදිහට.—යෙසා. 46:10. w23.11 3-4 7-8¶
ජූලි 14, සඳුදා
“එයා එළියට ගිහින් හොඳටම අඬන්න පටන්ගත්තා.”—මතෙ. 26:75.
පේතෘස්ට ගොඩක් දුර්වලකම් තිබුණා. උදාහරණෙකට අනාවැකිවල කියලා තියෙන විදිහට යේසුස්ට හුඟක් දුක් විඳලා මැරෙන්න සිද්ධ වෙනවා කියලා කිව්වාම පේතෘස් ඔහුට තදින් කතා කළා. (මාක් 8:31-33) ඒ වගේම පේතෘස් සහ අනිත් ගෝලයන් කීපවතාවක්ම උතුම්ම කෙනා කවුද කියලා රණ්ඩු කළා. (මාක් 9:33, 34) යේසුස් මැරෙන්න කලින් රෑ පේතෘස් කඩුවක් අරගෙන හිතන්නේ බලන්නේ නැතුව කෙනෙක්ගේ කන කැපුවා. (යොහ. 18:10) ඒ මදිවට මිනිස්සුන්ට තිබුණ බය නිසා එයා ගොඩක් ආදරේ කරපු යේසුස්ව එදා රෑම තුන්පාරක් අඳුරන්නේ නැහැ කියලා කිව්වා. (මාක් 14:66-72) ඒ වෙලාවේ එයා හොඳටම ඇඬුවා. මොකද පේතෘස් හිටියේ බින්දුවටම වැටිලා. ඒත් යේසුස් එයාව අත්හැරියේ නැහැ. ඒ නිසා නැවත නැඟිට්ටාට පස්සේ යේසුස් පේතෘස්ට තවත් අවස්ථාවක් දුන්නා ඔහු ගැන තිබ්බ ආදරේ පෙන්නන්න. යේසුස් එයාගෙන් ඉල්ලුවා නිහතමානී එඬේරෙක් විදිහට ඔහුගේ බැටළුවන්ව බලාගන්න කියලා. (යොහ. 21:15-17) පේතෘස් එකපයින්ම යේසුස්ට කීකරු වුණා. ඒ නිසයි යෙරුසලමේදී මුල්ම වතාවට දෙවියන්ගේ බලයෙන් ක්‍රිස්තියානීන්ව අභිෂේක කරද්දී පේතෘස් ඒ අය අතර හිටියේ. w23.09 22 6-7¶
ජූලි 15, අඟහරුවාදා
“මගේ බැටළු පැටව් ටික බලාගන්න.”—යොහ. 21:16.
පේතෘස් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලනවා “දෙවිගේ රැළ රැකබලා ගන්න” කියලා. (1 පේතෘ. 5:1-4) වැඩිමහල්ලෙනි, ඔයාලා සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි කියලත් ඔයාලට ඕනෙ එයාලව ආදරෙන් රැකබලා ගන්න කියලත් අපි දන්නවා. හැබැයි සමහර වෙලාවට තියෙන වැඩ කන්දරාවත් එක්ක ඔයාට ලොකු මහන්සියක් දැනෙන්න පුළුවන්. ඒ වගකීම හරියට කරගන්න බැහැ කියලා හිතෙන්නත් පුළුවන්. එහෙමනම් මොකද කරන්නේ? ඔයාට දැනෙන හැම දෙයක්ම අකුරක් නෑර යෙහෝවාට කියන්න. ඒකයි පේතෘස් කිව්වේ “සේවය කිරීමට අවස්ථාවක් යමෙකුට ලැබේ නම් දෙවි සපයා දෙන ශක්තිය මත රඳා සිටිමින් ඔහු සේවය කළ යුතුයි” කියලා. (1 පේතෘ. 4:11) සහෝදර සහෝදරියන් මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම සම්පූර්ණයෙන්ම මේ කාලේ විසඳෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න “ප්‍රධාන එඬේරා” වන යේසුස් ක්‍රිස්තුස්ට පුළුවන් ඔයාටත් වඩා හොඳින් එයාලට උදව් කරන්න. ඔහු දැන් විතරක් නෙවෙයි පාරාදීස පොළොවේදී ඊටත් වඩා වැඩියෙන් ඒක කරන්න යනවා. දෙවියන් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලන්නේ සහෝදරයන්ට ආදරේ කරන්න, එයාලව රැකබලා ගන්න සහ “රැළට ආදර්ශයක් වෙන්න” කියලා විතරයි. w23.09 29-30 13-14¶
ජූලි 16, බදාදා
“ප්‍රඥාවන්තයන් හිතන දේවල් කිසිම වැඩක් නැහැ කියලා යෙහෝවා දන්නවා.”—1 කොරි. 3:20.
අපි මිනිස්සුන්ගේ තර්ක විතර්කවලට අහු වෙන්න හොඳ නැහැ. මොකද මිනිස්සු හිතන විදිහට හිතුවොත් අපි දෙවියන්ගේ නීති, ප්‍රතිපත්ති ගණන් ගන්න එකකුත් නැහැ. අන්තිමේදී යෙහෝවාවත් දාලා යයි. (1 කොරි. 3:19) මොකද ‘මේ ලෝකයේ ප්‍රඥාව’ අපිව දිරිගන්වන්නේ අපේම ආශාවන් පිනවගන්න. උදාහරණෙකට පර්ගමම් සහ තියතීරා කියන්නේ රූප නමස්කාරයෙන් සහ අනාචාරයෙන් පිරුණු නගර දෙකක්. එහේ හිටපු අයගේ අදහස් අහලා සමහර ක්‍රිස්තියානීනුත් රූප නමස්කාරයට, අනාචාරයට වැටුණා. ඒ නිසයි යේසුස් එයාලට තදින් උපදෙස් දුන්නේ. (එළි. 2:14, 20) අදත් පවුලේ අය, යාළුවෝ අපිව එයාලා හිතන විදිහට හිතන්න පොලඹවනවා. එයාලා මෙහෙම කියනවා. “ඔයාලාගේ නීති තද වැඩියි. අනික බයිබලේ ආදි කාලේ පොතක්නේ. ඒකේ කියන දේ කරන්න ඕනෙ නෑ, ඔයා ඔයාගේ හිත කියන දේ කරන්න.” සමහරවිට අපිට හිතෙයි යෙහෝවා දීලා තියෙන සමහර මඟ පෙන්වීම් පැහැදිලි මදි කියලා. ඒ වගේ වෙලාවට “ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා ගිහින්” වැඩ කරන්න අපි පෙලඹෙයි.—1 කොරි. 4:6. w23.07 16 10-11¶
ජූලි 17, බ්‍රහස්පතින්දා
“අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරේ පෙන්වනවා. එයා කරදරයකදී උදව් කරන්න ඉපදුණ සහෝදරයෙක්.”—හිතෝ. 17:17.
මරියාට දරුවෙක් ලැබෙනවා කියලා දේවදූතයා කියද්දී මරියා විවාහ වෙලා හිටියේ නැහැ. දරුවන් ඇතිදැඩි කරලා එයාට කිසිම අද්දැකීමක් තිබුණෙත් නැහැ. අනික එයාගේ බඩේ ඉන්නේ අනාගත ගැලවුම්කරු. ඒක බරපතළ පැවරුමක්. ඒ වගේම ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැතුව එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා එයා යෝසෙප්ට පැහැදිලි කරන්නත් ඕනේ. (ලූක් 1:26-33) මේ වගේ දේකට මුහුණ දෙන්න මරියාට ශක්තිය ලැබුණේ කොහොමද? එයා අනිත් අයගෙන් උදව් ගත්තා. එයාගේ පැවරුම ගැන තවත් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා එයා ගාබ්‍රියෙල් දේවදූතයාට කිව්වා. (ලූක් 1:34) ඊට ටික කාලෙකට පස්සේ එයා එලිසබෙත්ව බලන්න ගියා. යෙහෝවාගේ මඟ පෙන්වීමෙන් මරියාගේ දරුවා ගැන අනාවැකියකුත් කියලා එලිසබෙත් මරියාව දිරිගැන්නුවා. (ලූක් 1:39-45) ඒ නිසා තමයි යෙහෝවා ‘ඔහුගේ මහත් බලයෙන් පුදුමසහගත ක්‍රියා කරලා තියෙනවා’ කියලා මරියාට කියන්න පුළුවන් වුණේ. (ලූක් 1:46-51) ඒ විදිහට ගාබ්‍රියෙල් සහ එලිසබෙත් මාර්ගයෙන් දෙවියන් මරියාව ශක්තිමත් කළා. w23.10 14-15 10-12¶
ජූලි 18, සිකුරාදා
“ඔහු අපිව රාජ්‍යයක් වෙන්න සැලැස්සුවා. ඔහුගේ දෙවියන් සහ පියාණන් වෙනුවෙන් සේවය කරන්න අපිව පූජකයන් විදිහට පත් කළා.”—එළි. 1:6.
ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ගෙන් සීමිත පිරිසක්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කරලා තියෙනවා. එයාලට යෙහෝවා දෙවියන් එක්ක තියෙන්නේ හරිම විශේෂ බැඳීමක්. ඒ 1,44,000දෙනා යේසුස් එක්ක පූජකයන් විදිහට ස්වර්ගයේ සේවය කරන්න යනවා. (එළි. 14:1) ශුද්ධස්ථානයෙන් නියෝජනය වෙන්නේ පොළොවේ ඉද්දීම දෙවියන්ගේ පුත්‍රයන් විදිහට අභිෂේක ලත් අය අද්දකින තත්වයයි. (රෝම 8:15-17) අතිශුද්ධස්ථානයෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා වාසය කරන ස්වර්ගයයි. ඒ කොටස් දෙක වෙන් කරපු “තිර රෙද්ද” තමයි මනුෂ්‍යයෙක් විදිහට යේසුස්ට තිබුණ ශරීරය. මොකද යේසුස්ට ස්වර්ගයට ඇතුල් වෙලා සංකේතවත් දේවමාලිගාවේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා විදිහට සේවය කරන්න තිබුණ බාධාව ඔහුගේ මිනිස් ශරීරයයි. හැබැයි ඒ ශරීරය හැමෝම වෙනුවෙන් පූජා කරපු එකෙන් ඔහු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටත් ස්වර්ගයට යන්න මඟ විවෘත කළා. හැබැයි ඒකට එයාලත් එයාලාගේ මිනිස් ශරීර අත්හරින්න ඕනේ.—හෙබ්‍රෙ. 10:19, 20; 1 කොරි. 15:50. w23.10 28 13¶
ජූලි 19, සෙනසුරාදා
‘ගිඩියොන් ගැන කතා කරන්න ගියොත් මට කාලේ මදි වෙයි.’—හෙබ්‍රෙ. 11:32.
එෆ්‍රායිම් ගෝත්‍රයේ අය ගිඩියොන්ට දොස් කියද්දී එයා තරහ අරන් එයාලට බැන්නේ නැහැ. (විනි. 8:1-3) ඒ වෙනුවට එයාලට හොඳට ඇහුම්කන් දීලා ඥානවන්ත විදිහට ප්‍රශ්නේ විසඳුවා. අවබෝධයෙන් වැඩ කරන වැඩිමහල්ලනුත් ඒ වගේ. අනිත් අය එයාලට දොස් කියද්දී එයාලා ගිඩියොන් වගේ හොඳට ඇහුම්කන් දීලා ඉවසීමෙන් වැඩ කරනවා. (යාකො. 3:13) ඒකෙන් සභාවේ එක්සත්කම රැකෙනවා. මිදියන්වරුන්ව පරාජය කළාම හුඟක් අය ගිඩියොන්ට ප්‍රශංසා කළා. හැබැයි එයා ඒ ප්‍රශංසාව යෙහෝවාට දුන්නා. (විනි. 8:22, 23) වැඩිමහල්ලන්ටත් පුළුවන් ගිඩියොන් වගේ වෙන්න. (1 කොරි. 4:6, 7) හිතන්න, දක්ෂ විදිහට උගන්නපු එක ගැන කෙනෙක් වැඩිමහල්ලෙක්ව අගය කරනවා කියලා. ඒ වෙලාවට ඒ කෙනාගේ හිතේ බයිබලේ ගැන, සංවිධානය ගැන අගයක් ඇති කරන්න එයාට පුළුවන්. මොකද එයා තොරතුරු ගත්තේ බයිබලෙන්. ඒ වගේම දක්ෂ විදිහට ඒ පැවරුම කරන්න පුහුණුව ලැබුණේ සංවිධානයෙන්. අනිත් අතට වැඩිමහල්ලෙක් කල්පනා කරන්න ඕනෙ ‘මං උගන්වන්නේ මට අවධානය ගන්නද නැත්තං දෙවියන්ට අවධානය දෙන්නද’ කියලා. w23.06 4 7-8¶
ජූලි 20, ඉරිදා
“ඔබ හිතන විදිහට නෙමෙයි මම හිතන්නේ.”—යෙසා. 55:8.
අපි හිතපු විදිහටම අපේ යාච්ඤාවට උත්තර ලැබුණේ නැත්නම් මොකද කරන්නේ? ‘මං මේ යාච්ඤා කරලා ඉල්ලන දේ හරිද’ කියලා හිතන්න. හුඟක් වෙලාවට අපි හිතනවා අපිට ඕන හොඳම දේ දන්නේ අපි කියලා. ඒත් සමහර වෙලාවට අපි ඉල්ලන දෙයින් ඇත්තටම අපිට හොඳක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නැත්නම් අපි හිතන විසඳුමට වඩා හොඳ විසඳුමක් තව තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ඉල්ලන දේ යෙහෝවාගේ කැමැත්තට එකඟ නොවෙන්න පුළුවන්. (1 යොහ. 5:14) උදාහරණෙකට යුවළක් දරුවාව සත්‍යයේ ගෙනියන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා කියලා හිතන්න. බැලූ බැල්මට ඒකේ වරදක් නැහැ. ඒත් අපේ දරුවෝ ඇතුළුව අපි හැමෝම ඔහුට කැමැත්තෙන්ම නමස්කාර කරනවා දකින්නයි ඔහුට ඕනේ. ඔහු කාටවත් බල කරන්නේ නැහැ. (ද්වි. 10:12, 13; 30:19, 20) ඒ නිසා දරුවාව සත්‍යයේ ගෙනියන්න කියලා ඉල්ලනවා වෙනුවට දෙමාපියන්ට පුළුවන් දරුවාගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න එයාලට උදව් කරන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න.—හිතෝ. 22:6; එෆී. 6:4. w23.11 21 5¶; 23 12¶
ජූලි 21, සඳුදා
“දිගටම එකිනෙකාව සනසන්න.”—1 තෙස. 4:18.
“එකිනෙකාව සනසන” එක ආදරේ පෙන්නන්න පුළුවන් හොඳම විදිහක් වෙන්නේ ඇයි? එක පොතක කියන විදිහට පාවුල් “සනසන්න” කියන වචනයෙන් අදහස් කළේ “ගොඩක් අමාරු දේවල්වලට මුහුණ දෙන කෙනෙක්ගේ ළඟින්ම ඉඳන් එයාව දිරිගන්වන්න කියන එකයි.” එහෙමනම් කෙනෙක්ව සනසන හැම වතාවකම අපි කරන්නේ නැඟිටින්න අත දීලා ජීවන මාර්ගයේ දිගටම දුවන්න එයාට උදව් කරන එකයි. ඉතින් ඒ විදිහට සහෝදරයන්ගේ කඳුළු පිහදාන්න අපි උපරිමය කරද්දී අපි පෙන්නන්නේ අපේ හිතේ එයාලා ගැන තියෙන ආදරයයි. (2 කොරි. 7:6, 7, 13) අනුකම්පාව දැනෙන එකයි, අනිත් අයව සනසන එකයි අතර කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඒ මොකක්ද? කෙනෙක් වේදනාවෙන් ඉන්නවා දකිද්දී මුලින්ම අපේ හිතේ ඇති වෙන්නේ අනුකම්පාවක්. ඒ අනුකම්පාව තමයි එයා වෙනුවෙන් දෙයක් කරලා එයාව සනසන්න අපිව පොලඹවන්නේ. අපිව සනසවන්න යෙහෝවා පෙලඹෙන්නෙත් අනුකම්පාව නිසයි. ඒකයි “මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය” කියලා පාවුල් යෙහෝවා දෙවියන් ගැන කිව්වේ.—2 කොරි. 1:3. w23.11 9-10 8-10¶
ජූලි 22, අඟහරුවාදා
“පීඩා එද්දීත් අපිට සතුටු වෙන්න පුළුවන්.”—රෝම 5:3.
පාවුල් තෙසලෝනිකවරුන්ට මෙහෙම කිව්වා. “ඇත්තෙන්ම අප සියල්ලන්ටම පීඩා විඳින්න සිදු වන බව අපි ඔබ සමඟ සිටියදී කල්තියාම ඔබට පැවසුවෙමු. ඔබ දන්නා පරිදි ඒ පීඩා විඳීමට අපට සිදු වී ඇත.” (1 තෙස. 3:4) ඒ වගේම පාවුල් කොරින්තිවරුන්ටත් මෙහෙම කිව්වා. ‘අපට මුහුණ දෙන්න සිදු වූ පීඩා ගැන ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමු. ඇත්තටම අපගේ ජීවිත පවා තිබුණේ ඉතා අවදානම් තත්වයක.’ (2 කොරි. 1:8; 11:23-27) අදත් ක්‍රිස්තියානීන් හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. (2 තිමෝ. 3:12) යේසුස්ගේ අනුගාමිකයෙක් වුණ නිසා සමහරවිට ඔයාගේ යාළුවෝ, නෑදෑයෝ ඔයාට පහත් විදිහට සලකනවා ඇති. ඔයා හැම වෙලේම අවංකව වැඩ කරන්න උත්සාහ කරන නිසා රස්සාව කරන තැනෙනුත් ගොඩක් ප්‍රශ්න එනවා ඇති. (හෙබ්‍රෙ. 13:18) එහෙම නැත්නම් ඔයාට තියෙන ලස්සන බලාපොරොත්තුව අනිත් අයත් එක්ක බෙදාගන්න නිසා බලධාරීන්ගෙනුත් පීඩා ඇවිල්ලා ඇති. ඔයා මේ මොන ප්‍රශ්නයට මුහුණ දුන්නත් පාවුල් කිව්වා ඔයාට සතුටු වෙන්න පුළුවන් කියලා. w23.12 10-11 9-10¶
ජූලි 23, බදාදා
“ඔයාලා මාව ලොකු කරදරයකට පැටලුවා.”—උත්. 34:30.
යාකොබ්ට ගොඩක් ප්‍රශ්න ආවා. පවුලේ අයටයි, යෙහෝවාටයි සිමියොන් සහ ලෙවී අවනම්බු කළා. යාකොබ් වැඩියෙන්ම ආදරේ කරපු බිරිඳ වන රාකෙල් දෙවෙනි පුතා බිහි කරද්දී හදිස්සියේම මැරුණා. මහලු වයසේදී එයාට සිද්ධ වුණා දරුණු සාගතයක් ආපු නිසා ඊජිප්තුවට යන්න. (උත්. 35:16-19; 37:28; 45:9-11, 28) මොන දේ වුණත් යාකොබ්ගේ හිතේ දෙවියන් ගැනයි, ඔහුගේ පොරොන්දු ගැනයි තිබුණ විශ්වාසය නම් අඩු වුණේ නැහැ. ඒ නිසා යෙහෝවාත් තමන්ගේ ආශීර්වාදය යාකොබ්ට තියෙනවා කියලා පැහැදිලිවම පෙන්නුවා. උදාහරණෙකට යාකොබ් එන්න එන්නම දියුණු වුණා. හිතන්න, අවුරුදු ගාණක් තිස්සේ මැරිලා කියලා හිතාගෙන හිටපු යෝසෙප්ව දෙවියන් ආයෙත් යාකොබ්ට මුණගස්සද්දී එයාට කොහොම දැනෙන්න ඇද්ද! මොන පීඩාව ආවත් ඒ හැම දේකින්ම එතෙර වෙන්න යාකොබ්ට පුළුවන් වුණේ යෙහෝවා එක්ක තිබුණ කිට්ටු බැඳීම නිසයි. (උත්. 30:43; 32:9, 10; 46:28-30) දෙවියන් එක්ක ඒ වගේ බැඳීමක් ඔයාටත් තියෙනවා නම් කවදාවත් හිතපු නැති විදිහේ ප්‍රශ්නෙකට වුණත් සාර්ථකව මුහුණ දෙන්න ඔයාට පුළුවන්. w23.04 15 6-7¶
ජූලි 24, බ්‍රහස්පතින්දා
“යෙහෝවා මගේ එඬේරායි. මට කිසි දේකින් හිඟයක් ඇති වෙන්නේ නැහැ.”—ගීතා. 23:1.
දෙවියන්ගේ ආදරය, සෙනෙහස 23වෙනි ගීතිකාවේ ලස්සනට විස්තර කරනවා. ඒකේ රචකයා දාවිත්. එයා පැහැදිලි කරනවා එයාගේ එඬේරා වන යෙහෝවායි, එයායි අතරේ කොච්චර කිට්ටු බැඳීමක් තියෙනවාද කියලා. දෙවියන් දාවිත්ට මඟ පෙන්නපු විදිහ එයාට දැනුණා. ඒ නිසා එයා හැම වෙලේම ඔහු මත රඳා හිටියා. ඇත්තටම යෙහෝවාගේ ආදරේ හැම දවසකම දාවිත් අද්දැක්කා. ඒත් දෙවියන් එයාට ආදරෙයි කියලා දාවිත් එච්චර විශ්වාසයකින් කිව්වේ කොහොමද? දාවිත්ට කිසිම දේකින් අඩුවක් වෙන්න දෙවියන් ඉඩ තිබ්බේ නැහැ. ඒ නිසා ඔහුගේ රැකවරණය ජීවිත කාලේ පුරාම දාවිත්ට දැනුණා. ඒ වගේම යෙහෝවා තමන්ගේ කිට්ටුම යාළුවා කියලත් ඔහු එයා ගැන ගොඩක් සතුටු වෙනවා කියලත් දාවිත් දැනන් හිටියා. ඒ නිසයි මොන දේ වුණත් එයාට ඕනෙ දේ ඕනෙම වෙලාවට දෙවියන් දෙයි කියලා දාවිත්ට විශ්වාසයක් තිබුණේ. දාවිත් දැනන් හිටියා මොන ප්‍රශ්න ආවත් යෙහෝවා එයාට සෙනෙහස පෙන්නනවා කියලා. ඒ නිසයි ප්‍රශ්න ලොකු කරගන්නේ නැතුව ප්‍රශ්න මැද සතුටින් ඉන්න දාවිත්ට පුළුවන් වුණේ.—ගීතා. 16:11. w24.01 29 12-13¶
ජූලි 25, සිකුරාදා
“මම අද ඉඳන් පවතින සමාජයේ අවසාන කාලය ඉවර වෙන කල්ම ඔයාලත් එක්ක හැමදාටම ඉන්නවා.”—මතෙ. 28:20.
2වෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ ලෝකේ හුඟක් රටවල්වල දෙවියන්ගේ සෙනඟ නිදහසේ දේශනා සේවය කරගෙන යනවා. දැන් ඒක තවත් වේගවත් වෙලා. පාලක මණ්ඩලයේ සහෝදරයන් හැම තිස්සේම වැඩ කරන්නේ යේසුස් දෙන මඟ පෙන්වීමට අනුව. ඒ නිසා එයාලා අපිට මඟ පෙන්වීම් දෙන්න කලින් ඒ ගැන යෙහෝවා සහ යේසුස් හිතන්නේ කොහොමද කියලා තේරුම්ගන්න උත්සාහ කරනවා. ඊටපස්සේ ඒ මඟ පෙන්වීම් චාරිකා සේවකයන් සහ වැඩිමහල්ලන් මාර්ගයෙන් සභාවලට දැනුම් දෙනවා. ඇත්තටම ඒ වැඩිමහල්ලන්, විශේෂයෙන්ම අභිෂේක ලත් වැඩිමහල්ලන් ඉන්නේ යේසුස්ගේ “දකුණතේ.” (එළි. 2:1) ඇත්ත, එයාලා අතිනුත් වැරදි වෙනවා. මෝසෙස්, යොෂුවා සහ නියෝජිතයන් අතිනුත් වැරදි වුණා. (ගණන්. 20:12; යොෂු. 9:14, 15; රෝම 3:23) පාපය උරුම කරගෙන තිබුණත් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව සහ දෙවියන්ගේ බලයෙන් පත් කරපු වැඩිමහල්ලන් හැමෝවම යේසුස් දිගටම පාවිච්චි කරනවා. ඒ නිසා පෙරමුණ ගන්න ඒ සහෝදරයන්ව විශ්වාස කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. w24.02 23-24 13-14¶
ජූලි 26, සෙනසුරාදා
“ඔයාලා දෙවියන්ගේ ආදරණීය දරුවන් නිසා දෙවියන්ව අනුකරණය කරන්න.”—එෆී. 5:1.
අපිටත් පුළුවන් යෙහෝවා දෙවියන් ගැන අනිත් අයගේ හිතේ ආදරයක් ඇති වෙන විදිහට ඔහු ගැන කතා කරන්න. යෙහෝවා අපිට ආදරණීය තාත්තා කෙනෙක්. අපිට ඕනෙ සේවේදී හම්බ වෙන අයගේ හිතෙත් ඔහු ගැන ඒ වගේම චිත්‍රයක් ඇඳලා එයාලව ඔහුට ළං කරන්න. (යාකො. 4:8) බයිබලේ පාවිච්චි කරලා දෙවියන්ගේ ආදරය, ප්‍රඥාව, යුක්තිය, බලය සහ තවත් ගුණාංග ගැන එයාලත් එක්ක කතා කරන්න අපි ගොඩක් ආසයි. ඒ වගේම අපිට ඕනෙ හැම වෙලාවෙම යෙහෝවාව ආදර්ශයට ගන්න. එහෙම කරද්දී ලෝකේ ඉන්න මිනිස්සු අතරේ අපිව කැපිලා පේනවා. එයාලත් බලනවා අපේ වෙනසට හේතුව මොකක්ද කියලා. (මතෙ. 5:14-16) එතකොට අපිට අවස්ථාවක් ලැබෙනවා ඒ වෙනසට හේතුව පැහැදිලි කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අවංක හදවත් තියෙන මිනිස්සු දෙවියන් ළඟට ඇදිලා එනවා. ඉතින් අපි මේ විදිවලින් යෙහෝවාට ප්‍රශංසා කරද්දී ඔහුට කොච්චර නම් සතුටක් දැනෙයිද!—1 තිමෝ. 2:3, 4. w24.02 10 7¶
ජූලි 27, ඉරිදා
‘දිරිගැන්වීම් ලබා දෙන්න. නිවැරදි කරන්න.’—තීත. 1:9.
අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් වෙන්න නම් සමහර හැකියාවන් වර්ධනය කරගන්නත් වෙනවා. සභාවේ වගකීම් කරට ගන්න, රස්සාවක් හොයාගන්න, හොඳ බැඳීම් ඇති කරගන්න ඒවා ඔයාට උදව් වෙයි. උදාහරණෙකට හොඳට ලියන්න, කියවන්න ඉගෙනගන්න. බයිබලේ කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන කෙනෙක්ට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. (ගීතා. 1:1-3) යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්නත් පුළුවන්. ඒක එයාට උදව් වෙනවා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න විදිහ තේරුම්ගන්න. (හිතෝ. 1:3, 4) බයිබලේ තියෙන දේවල් හොඳට උගන්නන්න පුළුවන්, බයිබලේ මත පදනම් මඟ පෙන්වීම් දෙන්න පුළුවන් පුරුෂයන් ඉන්න එක සභාවකට ආශීර්වාදයක්. ඔයා ලිවීමේ සහ කියවීමේ හැකියාව වර්ධනය කරගන්නවා නම් අනිත් අයට ප්‍රයෝජනවත් වෙන විදිහට දේශන ලෑස්ති වෙන්න, හොඳට උත්තර දෙන්න පුළුවන්. එතකොට අනිත් අයගේ විශ්වාසයත් ශක්තිමත් වෙයි. හොඳට ලියන්න, කියවන්න ඉගෙනගත්තොත් ඉගෙනගන්න දේවල් ලියාගන්නත් ඔයාට පුළුවන්. ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් අනිත් අයව දිරිගන්වන්නත් ඒවා උදව් වෙයි. w23.12 26-27 9-11¶
ජූලි 28, සඳුදා
“මේ ලෝකයට බලපෑම් කරන යක්ෂයාට වඩා ඔයාලා එක්ක එකට බැඳිලා ඉන්න දෙවියන් බලවත්.”—1 යොහ. 4:4.
බයක් දැනෙද්දී යෙහෝවා ඉස්සරහට කරන දේවල් ගැන හිතන්න. එදාට සාතන් නැහැ. 2014 තුන්දින සමුළුවේ නිරූපණයක් තිබුණා. ඒකේ හිටපු තාත්තා 2 තිමෝති 3:1-5 පාරාදීසේ ගැන ලියවුණා නම් කොහොම තියෙයිද කියලා හිතන්න පවුලේ අයට උදව් කළා. එයා මෙහෙම කිව්වා. “පාරාදීසයේදී ප්‍රීතිමත් කාලයක් පැමිණෙන බව දැනගන්න. මිනිස්සු තමන්ට වඩා අනිත් අය ගැන හිතන, සත්‍යයේ වටිනාකම අගය කරන, තමන්ගේ සීමාව තේරුම් අරන් වැඩ කරන, නිහතමානී, දෙවියන්ට ප්‍රශංසා කරන, දෙමාපියන්ට කීකරු වන, ස්තුතිවන්ත වන, විශ්වාසවන්ත අය වනු ඇත. ඔවුන් පවුලේ අයට සෙනෙහසක් පෙන්නන, හැම වෙලේම එකඟතාවකින් වැඩ කරන, අනිත් අයට ප්‍රශංසා කරන, තමන්වම පාලනය කරගන්න, මෘදු, යහපතට කැමති, ළැදි, අනිත් අයගේ අදහස්වලට ගරු කරන, යටහත්පහත්, විනෝදයට වඩා දෙවියන්ට ඇල්මක් දක්වන අය වනු ඇත. මීට අමතරව එයාලා දෙවියන්ට මුළු හදවතින්ම භක්තියක් පෙන්වන නිසා ඒ වගේ අයට ළං වෙලා ඉන්න.” අපේ අනාගතය කොහොම වෙයිද කියලා ඔයාත් පවුලේ අයත් එක්ක, සහෝදරයෝ එක්ක කතා කරනවාද? w24.01 6 13-14¶
ජූලි 29, අඟහරුවාදා
“මම ඔයා ගැන සතුටු වෙනවා.”—ලූක් 3:22.
“යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟ ගැන සතුටු වෙනවා” කියලා දැනන් ඉන්න එක අපිට ලොකු සතුටක්. (ගීතා. 149:4) හැබැයි සමහර වෙලාවට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘යෙහෝවා මං ගැනත් සතුටු වෙනවාද, ඇත්තටම ඔහුගේ අනුමැතිය මට තියෙනවාද?’ දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් පවා ඒ වගේ සිතුවිල්ලක් එක්ක පොරබැදලා තියෙනවා. (1 සාමු. 1:6-10; යෝබ් 29:2, 4; ගීතා. 51:11) බයිබලේ පෙන්නනවා පාපය උරුම කරගත්ත මිනිස්සුන්ට වුණත් යෙහෝවාගේ අනුමැතිය දිනාගන්න පුළුවන් කියලා. හැබැයි ඒකට අපි යේසුස් ගැන විශ්වාසය තියලා බව්තීස්ම වෙන්න ඕනේ. (යොහ. 3:16) එතකොට අපි හැමෝම ඉස්සරහා පෙන්නනවා අපි අපේ පව් ගැන පසුතැවිලා දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දෙන්න පොරොන්දු වෙලා තියෙනවා කියලා. (ක්‍රියා 2:38; 3:19) අපි ඒ විදිහට යෙහෝවාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පියවර ගනිද්දී ඒකෙන් ඔහුගේ හිත ගොඩක් සතුටු වෙනවා. අපි කැප වීමේ පොරොන්දුවට එකඟව ජීවත් වෙන තාක් කල් දෙවියන් අපිට ඔහුගේ අනුමැතිය දෙනවා වගේම අපිව ඔහුගේ කිට්ටු යාළුවෝ විදිහටත් සලකනවා.—ගීතා. 25:14. w24.03 26 1-2¶
ජූලි 30, බදාදා
“අපි අහපු දැකපු දේවල් ගැන කතා කරන එක නවත්තන්න නම් අපිට බැහැ.”—ක්‍රියා 4:20.
යෙහෝවාගෙන් ප්‍රඥාවයි, නිර්භීතකමයි ඉල්ලන්න. එතකොට අපේ සේවේ සාර්ථකව කරන්න ඔහු උදව් කරයි. ප්‍රශ්න දරාගන්නත් ඔහුගෙන් උදව් ඉල්ලන්න. මොකද අපි හැමෝටම වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ඒක ශාරීරික ලෙඩක් නැත්නම් මානසික ලෙඩක් වෙන්න පුළුවන්. නැත්නම් වියෝදුක නිසා ඔයා ලොකු වේදනාවකින් ඉන්නවා ඇති. එහෙම නැත්නම් පවුලේ ප්‍රශ්නයක් නිසා, විරුද්ධවාදිකම් නිසා නැත්නම් වෙන දෙයක් නිසා ලොකු පීඩනයක් දැනෙනවත් ඇති. ඒවා මදිවට වසංගත, යුද්ධ වගේ දේවල් ඇති වෙද්දී අපි තවත් අසරණ වෙනවා. ඒ වගේ වෙලාවට හොඳම යාළුවාට හැම දේම කියනවා වගේ දැනෙන හැම වේදනාවක්ම යෙහෝවාට කියන්න. එතකොට යෙහෝවා “ඔයා වෙනුවෙන් නිසි පියවර ගනියි.” (ගීතා. 37:3, 5) ‘පීඩා එද්දී ඒවා විඳදරාගන්න’ යාච්ඤාව උදව් වෙනවා. (රෝම 12:12) ඒ නිසා යාච්ඤා කරන්න. තමන්ගේ සෙනඟ මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම යෙහෝවා දන්නවා. ‘උපකාර ඉල්ලලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දෙනවා.’—ගීතා. 145:18, 19. w23.05 5-6 12-15¶
ජූලි 31, බ්‍රහස්පතින්දා
“ඔයාලා කරන දේවල් ගැන ස්වාමීන් සතුටු වෙනවාද කියලා නිතරම හොයලා බලන්න.”—එෆී. 5:10.
අපේ ජීවිතේ වැදගත් තීරණ ගන්න වෙද්දී අපි “යෙහෝවා දෙවිගේ කැමැත්ත මොකක්ද” කියලා හොයලා බලලා ඒකට අනුව වැඩ කරන්න ඕනේ. (එෆී. 5:17) අපි බයිබල් ප්‍රතිපත්ති හොයලා බලනවා නම් අපි කරන්නේ දෙවියන්ගේ කැමැත්ත ඒ කියන්නේ දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන එක. අපි ඒ ප්‍රතිපත්ති අදාළ කරගද්දී අපිට අනිවාර්යයෙන්ම හොඳ තීරණ ගන්න පුළුවන්. හැබැයි සාතන් බලන්නේ අපේ කාලය සම්පූර්ණයෙන්ම මේ ලෝකේ දේවල්වලට දෙන්න අපිව පොලඹවන්න. (1 යොහ. 5:19) මොකද එයා දන්නවා එතකොට දෙවියන් වෙනුවෙන් දෙන්න අපිට කාලය ඉතුරු වෙන්නේ නැහැ කියලා. ක්‍රිස්තියානියෙක් වුණත් හරිම ලේසියෙන් යෙහෝවාට දෙන්න තියෙන කාලය සල්ලිවලට, ඉගෙනගන්න එකට සහ රස්සාවට දෙන්න පෙලඹෙන්න පුළුවන්. එහෙම වෙද්දී ඒකෙන් පේන්නේ එයා මේ ලෝකේ සිතුවිලි රටාවට අහු වෙලා කියන එකයි. ඇත්ත, අපි දන්නවා ඒ දේවල් වැරදි නැහැ කියලා. හැබැයි අපි කවදාවත් ඒවාට අපේ ජීවිතේ අංක එකට එන්න දෙන්න හොඳ නැහැ. w24.03 24 16-17¶